ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අදටත් ජීවත්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 66 වන ජන්ම දිනය පෙබ්‍රවාරි දෙවෙනි දිනයට යෙදී තිබෙනවා. නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ව විසිතුන් වරක් දැක ගැනීමට පමණක් නොව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දර්ශණයෙන් දැකගෙන උන්වහන්සේ වෙතින් අපොස්තුළුවරම් ලැබුමට තරම් සුවිශේෂී වාසනා මහිමයක් හිමිකරගනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ උත්පත්තිය හා සමගින් බැඳුන කරුණු කාරනාවන් ද රැසක්. එම කරුණු කාරනාවන් ද සුවිශේෂී සිදුවීම් නිසා ම, එයින් එකක් දෙකක් පමණක් මේ අවස්ථාවේ ඔබ හමුවේ තබන්නට මම කැමතියි.
මේ මොහොත වන විටත් මේ ලොව තුළ මිනිසුන් කී දෙනෙකු නම් ඉපදෙනවා ඇතිද එකම දිනයක, එකම මොහොතක මනුෂ්‍යයන් කී දෙනෙකු නම් ඉපදෙනවා ඇතිද 1957 වසරේ පෙබරවාරි 1 දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට, එපමණක්ද නොව, ඔරලෝසුවේ කටු තුනම 12 ඉලක්කම මත පිහිටා තිබිය දී, මීගමුව, දොස්තර එම්. එස්. වීරකෝන් මහතාට අයත්ව තිබූ පුද්ගලීක රෝහලේ දී සුවිශේෂී වූ දරු ප්‍රසූතියක් සිදු වුනා. එම සුවිශේෂී උපත එම මවට, පියාට පමණක් නොව, එම ප්‍රදේශයට පමණක් නොව, ශ්‍රී ලංකාවට පමණක් නොව, මුළු ලෝකයටම සුවිශේෂී වුනා, ලෝකයේම හැරවුම් ලක්ෂ්‍යක් වුනා. එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ දස සතර වන අපොස්තුළුතුමාණන් වන, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අදටත් ජීවත්වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මීට වසර 66 කට පෙර එනම් 1957 දී මෙලොවට ඉපදුනා.
උන්වහන්සේ උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ, කටුනායක ප්‍රදේශයේ සිටි ධනවත් පවුලක දරුවෙකු ලෙසට යි. ව්‍යාපාර රැසකට හිමිකම් කිවූ, සුවිශාල ධනස්කන්ධයක් හිමි ජී. සී. අපොන්සු මැතිතුමා සහ මාග්‍රට් අපොන්සු මැතිණියගේ දරුවකු ලෙසට යි. ඉතාම හොද ගතිගුණ ඇති, ජාති ආගම් භේද නොතකා මිනිසුන්ට උදව් උපකාර කරමින් දිවි ගෙවූ උන්වහන්සේගේ පියා වන ජී. සී. අපොන්සු මැතිතුමා ඉතාම හොඳ බෞද්ධ බැතිමතෙක්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ කුඩා අවදියේ දී උන්වහන්සේ සිදුකරනු ලැබූ යම් යම් විශේෂ ක්‍රියාවන් සහ උන්වහන්සේ පවසා තිබූ ආන්දෝලානාත්මක ප්‍රකාශ නිසා, උන්වහන්සේගේ පියා ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ කුඩා කාලයේදී ම උන්වහන්සේගේ ඇතුළාන්තයේ වෙනසක් දැක තිබෙනවා. එක් උදාහරණයක් සදහන් කරන්නම්, ‛‛මම ආයේ මේ ලෝකෙට ඉපදෙන්නෙ නෑ’’……., ඉතාම කුඩා අවදියේ දී උන්වහන්සේ පවසා ඇති මෙම වචන කිහිපය පිළිබඳව ද උන්වහන්සේගේ පියා බොහෝ වේලාවක් එම සිදුවීමෙන් පසුව ගෙවත්තේ එහාට මෙහාට ඇවිදිමින් කල්පනා කර තිබෙනවා. එය එක් විශේෂ අවස්ථාවක් පමණයි. උන්වහන්සේගේ උපත සහ කුඩා කාලය පිළිබඳව තවත් බොහෝමයක් විශේෂ අවස්ථාවන් තිබෙනවා.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සාමාන්‍ය මිනිස් දරුවකු ලෙසින්, මවු කුසක් තුළින් උන්වහන්සේ මේ ලොවට ඉපදුනා. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස ඉපදුනත් උන්වහන්සේ මවු කුස තුළ සිටිනා කාලයේ දී මෙන්ම උපත සිදුවන අවස්ථාවේ දී ත් බොහෝමයක් විශේෂ සිදුවීම් සිදු වී තිබෙනවා. 1957 පෙබරවාරි 1 දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට, මීගමුව පුද්ගලීක රෝහල් කාමරයේ දී උන්වහන්සේ උපත ලබන මොහොතේ දී එහි තබා තිබූ, තරමක් විශාල සහ හොඳට ඉලක්කම් පෙනෙන ඔරලෝසු තුනේ ම පැය, විනාඩි, තත්පර යන කටු තුනම දොලහේ ඉලක්කම මත නැවතී, නියමිත වේලාව පෙන්නුම් කල පසු, ඉන් විනාඩි දහයකින්, හරියටම, 12.10 ට, ඔරලෝසු එකක නොව, ඔරලෝසු තුනේම කටු නතර වී තිබෙනවා. එමෙන්ම, උන්වහන්සේ උපත ලබා ඇත්තේ ද, මේ පුද්ගලීක රෝහලේ සකසා තිබූ සුව පහසු ඇඳ මත නොව, ඇඳෙන් පහත මහ පොළොව මතයි. එය ද මේ උත්පත්තිය සමගින් බැඳුන සුවිශේෂී සිද්ධියක්. ඔරලෝසුවේ කටු තුනම නතර කරවමින් මව් කුසයේ සිට බඩවැල් සතක් බෙල්ලේ දවටාගෙන මහ පොළොව මත ඉපදුන උන්වහන්සේ ඉපදෙන විට එම උපත පිළිබඳව එහි සිටි වෛද්‍යවරුන් පවා පුදුමයට පත් වී තිබෙනවා. විශේෂයෙන් උන්වහන්සේගේ පවුලේ වෛද්‍යවරයා වූ දොස්තර එම්. එස්. වීරකෝන් මහතා පවා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මවු කුස තුළ සිටිනා කාලයේ දී සිදු වූ විශේෂ ක්‍රියාවන් පිළිබඳව ද පුදුමයට පත් වී තිබෙනවා. අවුරුදු 90 ක් ඉක්මවා ජීවත් වූ ඒ වෛද්‍යවරයා, මියයන තෙක් ම, මේ පුදුම උපත හා බැඳුන සිද්ධීන් මතක් කරනු ලැබුවා.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්, උන්වහන්සේගේ උපත පිළිබදවත්, උන්වහන්සේගේ කුඩා කාලයේදී සිදුවුන විශේෂ අවස්ථාවන් පිළිබදවත් උන්වහන්සේගේ බැතිමතුන්ට මෙන්ම, අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිලධාරීන් පිරිසට පෞද්ගලිකව ද බොහෝ දේ පවසා තිබෙනවා. උන්වහන්සේ කුඩා කාලයේදී උන්වහන්සේගේ එම විශේෂ ක්‍රියාවන් සහ අවස්ථාවන් එවකට දකින පුද්ගලයෙකුට පුදුමයක් වූවත්, දැන් උන්වහන්සේ කවුරුන්ද කියා දන්නා පුද්ගලයන්ට නම් එය පුදුමයක් නොවෙයි. මන්ද, උන්වහන්සේ අපොස්තුළුතුමෙක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ම දර්ශණය වී තෝරාගනු ලැබූ අපොස්තුළුතුමෙක්. මීට පෙර සිටි අපොස්තුළුතුමන්ලාගේ උපත් පිළිබදව හෝ කුඩා කාලය පිළිබඳව කිසිදු හෝ සඳහනක් කොතැනක හෝ සදහන් වී නැතත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපත පිළිබදවත්, උන්වහන්සේගේ කුඩා කාලයේ තිබූ විශේෂත්වය පිළිබදවත් මේ වන විටත් බොහෝ දේ සඳහන් වී තිබෙනවා. සඳහන් වෙමින් ද පවතිනවා. ඒවා ගැන ගීත ලියැවී තිබෙනවා, කවි ලියැවී තිබෙනවා, වීඩියෝ නිශ්පාදනය වී තිබෙනවා. ඒවා අතුරෙන් සමාජගත වූ කොටස තවමත් ඉතාම කුඩා ප්‍රතිශතයක් බව මාගේ හැගීමයි.
අපොස්තුළුතුමෙකු මෙතුවක් කාලයක් තවමත් අප අතර ජීවමානව වැඩසිටීම පිළිබඳව ද අපට ඇත්තේ අති මහත් සතුටක්. මා එසේ සඳහන් කරන්නේ මීට පෙර සිටි අපොස්තුළුතුමන්ලාට අත් වූ කුරිරු ඉරණම නිසා යි. එදා නොතිබූ නමුත්, අද තිබෙන දියුණු තාක්ෂණය නිසා, උන්වහන්සේ තවමත් අප අතරම ජීවමාන යි. නැතහොත් උන්වහන්සේට අත්වන්නේ ද අතීතයේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් අනෙකුත් අපොස්තුළුතුමන්ලාටත් අත් වූ කුරිරු ඉරණම ම තමයි. උන්වහන්සේ අද මුළු ලෝකයටම එකම තැනක, එනම් ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩසිටිමින් දහම බෙදාදෙනවා. සෑම වසරකම උන්වහන්සේගේ බැතිමතුන් එකතු වී උන්වහන්සේගේ උපත සමරන්නේ, උන්වහන්සේව ද සහභාගි කරවා ගෙනයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නොමැති ලොවක් තුල නොව, උන්වහන්සේ ජීවමානව ම, අප අතර, අප සමග වැඩ සිටින මේ කාලයේ, උන්වහන්සේ ඉදිරියේම සිට උන්වහන්සේගේ බැතිමතුන් එම සුවිශේෂී උපත සමරණවා. එය කිසිදු අපොස්තුළුතුමෙකු ලබා ඇති මොහොතක් යැයි මා සිතන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණවා මෙන්ම, අද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශූද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් හෙවත් අද ලොව ජීවමාන එකම අපොස්තුළුතුමන්ගේ උපත, උන්වහන්සේට ආදරය කරනු ලබන බැතිමතුන් විසින් සමරණු ලබනවා. එවැනි උතුම් අවස්ථාවකට සහභාගි වන්නා වූ අපි එය සලකන්නේ වාසනාවක් හැටියටයි ඇත්තට ම එය වාසනාවක්.
1975 වසරේ පෙබරවාරි 7 වන දින ශූද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්, අපොස්තුළුවරයෙන් අභිෂේක ගැන්වුනායින් පසුව 2023 මෙම වසරේ පෙබරවාරි 2 වන දින උදාවන උන්වහන්සේගේ මෙම උපන්දිනය, අපොස්තුළුතුමෙකු ලෙසින් උදාවන 48 වන උපන්දිනය යි. ඒ සියළුම උපන් දිනයන් බැතිමතුන් විසින් සමරා තිබෙනවා. නමුත් එම වසර 48 පුරාවටම තවමත් උන්වහන්සේ සමගින් සිටින බැතිමතුන් ඉතාම වාසනාවන්තයි. උන්වහන්සේගේ 66 වන ජන්ම දිනය, එමෙන්ම අපොස්තුළුතුමෙකු ලෙසින් උදාවන උන්වහන්සේගේ 48 වන උපන්දිනය වෙනදා මෙන්ම සැමරිය යුතුම දිනයක්. මන්ද, උන්වහ්න්සේ මේ ලෝකයට උපත ලැබුවේ, මේ ශ්‍රී ලංකාවේ ම උපත ලැබුවේ අපගේම පිනක් නිසා යි. ඉතින් එය සැමරිය යුතු ම නොවේද එසේය, සැමරිය යුතුමය. එවන් උපතක් සමරන්නට සිතක් පහළ වීමට ද පිනක් තිබිය යුතුමයි.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපත මුළු ලොවටම සුවිශේෂී සිදුවීමක්. අධ්‍යාත්මික නායකයෙකු මෙලොවට උපදිනවා යනු මේ ලෝකය තුළ එවකට ජීවත් වන මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුගේ සසර ගමනේ හැරවුම් ලක්ෂය උදා වීමක්. අධ්‍යාත්මික නායකයෙකුටත් එහා ගිය අධ්‍යාත්මික ශක්තියකින් පූර්ණ වූ අපොස්තුළුතුමෙකු මෙලොවට උපදිනවා යනු, මුළු ලොවකටම ධර්මයේ වසන්ත කාලය උදා වීමයි. මේ වන විට එම වසන්ත කාලය උදා වී තිබෙනවා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දහම් හක්‍ෂ ලොව පුරා පැතිරෙනවා. මිනිසුන් කෙමෙන් කෙමෙන් බොරුවෙන් ඈත් වී සත්‍ය දහම දෙසට සිත් යොමු කරමින් සිටිනවා. මිනිසුන් සසර ගමනින් නික්මෙන්නට, ආත්ම විමුක්තිය උදා කරගන්නට සැරසෙනවා. ඒ අප අතරම ජීවත් වන, ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් දේශනා කරනු ලබන ධර්මයේ වසන්ත කාලය දැන් උදා වී ඇති නිසයි. එම දහම් වසන්ත කාලය ද දෝතින් රැගෙන 1957 පෙබෙරවාරි පළමු වන දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපදිනවා, මේ මහ පොළොව මතම උන්වහන්සේ උපදිනවා.
2021 වසරේ දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශන දෙව්මැදුර තුළ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පැවැත් වූ නත්තල් මංගල දිව්‍ය පූජාවේ දේශණය පවත්වමින් උන්වහන්සේ ආගම සහ ධර්මය සම්බන්ධව ඉතාම ලස්සන, ඒ වගේම අළුතින් සිතන්නට යමක් අපට ප්‍රකාශ කරනු ලැබුවා. ආගම සහ ධර්මය අතර ඇති පැහැදිලි වෙනස පෙන්වා දුන් උන්වහන්සේ, අප කාටත් සිතන්නට බොහෝ දේ ඉතුරු කරනු ලැබුවා. ධර්මය තමයි මේ සොබා දහම, නිවැරදි ධර්මය තියෙන්නෙ සොබාදම තුළ යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ පිදුරු ගොඩක, පිදුරු කියන්නේ සොබාදහමට අයත් දෙයක්, වී ගස. ක්‍රිස්තුස් වහන්සේ උකුත් වුනේ කුරුස ගසක. කුරුස ගසක් කියන්නෙත් සොබාදහමට අයිති වෘක්ෂයකින්, ලීයකින්, සාදපු දෙයක්. ඒ වගේම, බුදු රජාණන්වහන්සේ මෙලොට උපත ලැබුවේ ද පිරිනිවන් පෑවේ ද සල් ගසින් පිරුණ උයනක. බලන්න, මේ අධ්‍යාත්මික ශාස්තෘවරුන්ට සොබාදම කොතරම් සම්බන්ධ ද? ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, 2021 වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දී ප්‍රකාශ කරනු ලැබුවා. මේවා අපට සිතන්නට පැවසූ දේවල්. ඒ වගේම, මේ අපගේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද උත්පත්තිය ලැබුවේ, මේ මහ පොළව බදාගෙන, මේ මහ පොළව මත. මහ පොළොව කියන්නෙත් සොබාදහමට ම අයිති දෙයක්.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත, එදා උන්වහන්සේ ජීවතුන් අතර සිටියදී කිසිවකුවත් සිහිපත් කරනු ලැබූ බවක් කොතැනක හෝ සටහන් වී නෑ. එවකට සිටි උන්වහන්සේගේ කිසිදු අපොස්තුළුතුමෙකුගේ උපතක් උන්වහන්සේලා ජීවතුන් අතර සිටියදී සිහිපත් කළ බවක් කොතැනක හෝ සටහන් වී නෑ. නමුත් අපොස්තුළුතුමෙකු යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ම නියෝජිතයෙකු වන නිසා, අපොස්තුළුතුමෙකුගේ උපතත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෙසින්ම අප ගෞරවාන්විතව සිහිපත් කල යුතු බව අප බැතිමතුන්ගේ නිගමනය යි. උන්වහන්සේලා මෙලොවින් සමුගත්තායින් පසුව, මේ කිසිදු සිහිපත් කිරීමකින්, සැමරුමකින් ඵලක් තිබේද? වැදගත් වන්නේ, වටිනාකම පවතින්නේ, උන්වහන්සේලා ජීවතුන් අතර සිටියදී ම එම ගෞරවනීය සිහිපත් කිරීම සිදු කිරීම යි. මේ වන විට ශුද්ධ වූ බයිබලය වසා දමනු ලැබූ පොතක්. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තවමත් ජීවමානයි. බයිබලය වසා දැමීමෙන් පසුව ක්‍රිස්තුස් වහන්සේ සිදු කරන්නාවූ ක්‍රියාවන් මෙන් ම, උන්වහන්සේ විසින් මෙලොවට දර්ශනය වී තෝරාගත් දෙවන අපොස්තුළුතුමන් පිළිබඳව සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම 14 වන අපොස්තුළුතුමාණන්ගේ ඉගැන්වීම් ද එහි සටහන් වී නෑ. නමුත් කෙදිනක හෝ දිනයක ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් නැමැති ක්‍රිස්තුස් වහන්සේගේ 14 වන අපොස්තුළුතුමන් පිළිබදව, මේ වන විටත් ලියැවෙන සටහන් මෙන්ම උන්වහන්සේගේ ඉගැන්වීම් ද අනාගත ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන බවට කිසිදු සැකයක් නෑ.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ලඟම බැතිමතුන්ට, එනම් උන්වහන්සේගේ අවවාද අනුශාසනා සහ ඉගැන්වීම් අනුව තම දිවිය හැඩගසාගන්නා බැතිමතුන්ට මේ අවස්ථාව අති සුවිශාල සතුටක් දනවන අවස්ථාවක්. මන්ද, අපි අද උන්වහන්සේගේ උපත සමරන්නේ උන්වහන්සේගේ පින්තූරයක් හෝ පිළිරුවක් අභියස හිදිමින් පමණක් නොවෙයි. අපි තවමත් උන්වහන්සේගේ උපත සමරන්නේ උන්වහන්සේ ඉදිරිපිටමයි. ඒ අති ගෞරවනීය සැමරුම දැක, උන්වහන්සේගේ මුවගට සිනහවක් පැමිණෙන විට, අප එතුළින් ලබන සතුට අති සුවිශාලයි. එය අප කාගේත් අත්දැකීමයි. අපි බොහෝ දෙනෙකුගේ අත්දැකීමයි. ජීවමාන අපොස්තුළුතුමෙකුගේ උපතක්, ඒ අපොස්තුළුතුමා ජීවමානව වැඩසිටිනා කාලයේ දී ම, උන්වහන්සේ ඉදිරිපිට ම සමරන්නට ලැබීමට තරම් අප මේ සසර ගමන තුළ මොනතරම් නම් පින් රැස් කරගෙන සිටිනවා වෙන්නට ඇතිද මේ ලෝකයට නැවතත් අපොස්තුළුතුමෙකු ලැබී තිබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශනය වී තෝරාගත් පළමු වන අපොස්තුළුතුමාව කුරිරු මිනිසුන් විසින් ඒ අපොස්තුළුතුමාගේ හිස කඩුවකින් වෙන් කර මරා දමා වසර එක්දහස් ගණනකටත් පසුවයි. එතුවක් අප කී වරක් නම් මෙලොව ඉපදෙන්නට ඇති ද? සමහරවිට එතුවක් කාලයකදී මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ව පවා මේ සසර ගමනේදී, මේ ඉර හඳ යට අපට මුණ ගැසී තිබෙන්නට ඇති. සමහරවිට, එය සසර පුරුද්දක් ලෙසින් අප උන්වහන්සේට මෙතරම් ලං වන්නට ඇති. කෙසේ හෝ, අපගේ මේ ජීවිත සමයේදී උන්වහන්සේ අපගේ ජීවිතයට ලං වීමට වාසනාව ලැබීම අප මෙතුවක් ආ මුළු සසර ගමනේ ම එකම හැරවුම් ලක්ෂය බවට නම් කිසිදු සැකයක් නෑ. අවසාන වශයෙන්, මේ ලෝකයට නැවතත් අපොස්තුළුතුමෙකු ලබා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත්, එම ජීවමාන අපොස්තුළුතුමන් ඉදිරියේ විසිතුන් වතාවක්ම දර්ශන වූ දෙව් මවුන් වෙතත් වචනයෙන් කියා නිම කළ නොහැකි ස්තූතිය, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සියළුම බැතිමතුන් වෙනුවෙන් පුද කරන්නේ, හද පිරි භක්තියෙන් යුතුවයි.
ජාඇල, ප්‍රවීන් ශානක පෙරේරා