‛‛අවමංගල්‍ය පමණක් නොවෙයි මංගල්‍ය ගැන පවා මේ වසංගතය පාඩම් උගන්වනවා. මේවා සම්බන්ධව තිබුණා වූ විවිධ සිරිත් සහ සම්ප්‍රධායයන් සියල්ලම වසංගතයට උඩින් ගිහිල්ලා, සිල්ලර ලාමක දේවල් බව මේ වසංගතය උගන්වනවා. මරණයක දී කටයුතු කලයුතු ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුගේ සිත් තුල තිබුන ප්‍රාර්ථනාවන් මිරිඟුවක් බවට පත්කරලා, ජීවත් විය යුතු ආකාරය ගැන සිතිය යුතු ම බව මේ වසංගතය පාඩම් කියා දෙනවා.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදා (2021 සැප්තැම්බර් 18) සවස බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ දී යි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ජපමාලය උච්චාරණය කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ අසිරිමත් ප්‍රතිමාව ඉදිරියේ යි. මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ දෙස් විදෙස් බැතිමතුන් පිරිසක් ඔවුන්ගේ නිවෙස්වල සිට ම සම්බන්ධ වී සිටියහ.

 

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් පරිදි, අපොස්තලික මාධ්‍ය ජාලයේ, සමාජ මාධ්‍ය ඒකකය මෙම අවස්ථාව සංවිධානය කර තිබුනි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් ඔස්සේ තම ජීවිත හැඩගස්වා ගැනීමට උත්සහ දරමින් ජීවත්වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් දෙස් විදෙස් බැතිමතුන්ට පමණක් සූම් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධවීමේ අවස්ථාව ලබා දී තිබුණි.

 

බැතිමතුන් වෙනුවෙන් දෙව් මවුන් අමතා විශේෂ යැදුමක් ද ඔප්පු කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අවසානයේ අපොස්තලික ශාලාවේ සිට සිය බැතිමතුන් අමතා, මේ වසංගත කාලයට සරිලන ඔවදන් රැසක් ද දැනුවත් කිරීම් රැසක් ද සමගින් ඔවුන්ව ජීවත්වීම සඳහා දිරිමත් කරමින් ආශිර්වාද කල අතර උන්වහන්සේ මෙසේ ද පැවසූ සේක.

 

‛‛ප්‍රිය දරුවෙනි, අපි නිතරම මරණයට සූදානමින් ඉන්නට ඕනා. මරණයට සූදානමින් ඉන්නවා කියන්නේ කුමක්ද? මොකක්ද විය යුතු සූදානම? මෘත දේහයට ඇන්දවිය යුතු ඇඳුම් ඇඳගෙන සූදානමින් සිටීමට ද? නැහැ මරණයට සූදානමින් ඉන්නවා කියන්නෙ, මරණයෙන් පසුව අපි යා යුතු හොඳම තැනට යන්නට, සූදානම් වෙමින් ජීවත් වීමයි. යහපත් කතාවෙන්, යහපත් ක්‍රියාවෙන්, යහපත් සිතුවිල්ලෙන්, ජීවිතය යහපත් කරගෙන ජීවත් වීමයි. අපි මේ ජීවත් වෙන ජීවිත කාලයේ, ජීවත් විය යුත්තේ, මරණයෙන් පසු අපේ ජීවිතය යහපත් වෙන ආකාරයෙනුයි. ඒ සඳහා අප ජීවත් වීමේ දී, අපේ ජීවිතයේ කුමන ආකාරයේ වෙනස්කම් කරගත යුතු ද, කියලා බුද්ධිමත්ව ස්වයං විමසිල්ලෙන්, හොඳ කල්පනාවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත්තේ නැත්නම්, අපට ස්වර්ගයේ තැනක් නොවෙයි, අපායෙත් මොනවගේ තැනක් ලැබෙයි ද කියලා සිතාගන්නටත් අමාරුයි.’’

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ පූජාසනය මත නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ආශ්චර්‍යයවත් ප්‍රතිමාව තැන්පත් කර තිබූ අයුරු මෙම ජායාරූප මගින් ඔබට දැකිය හැකි අතර 2021 සැප්තැම්බර් 18 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ දී මෙම ඡායාරූප ලබා ගන්නා ලදී