නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය පසුගිය සිකුරාදා (2023 ඔක්තෝම්බර් 20) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ නිසාය. මේ මහා ප්‍රාතිහාර්‍යය සිදු වීමට ආරම්භ වූයේ සිකුරාදා රාත්‍රී 7.30 ට පමණය.

 

පසුදින වූ ඔක්තෝම්බර් 21 වෙනි සෙනසුරාදා සවස වන විට ද දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙමින් තිබුණ අතර, සෙනසුරාදාවක් වූ එදින සවස හාස්කම් යාච්ඤාවට සහභාගිවීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් සඳහා දර්ශණ දෙව්මැඳුර විවෘත කරනු ලැබූ අතර, ඔවුන් මහත් බැතියෙන් දර්ශණ දෙව්මැඳුර තුලට ඇතුළු වී දෙව් මවු ප්‍රතිමාවෙන් පැතිරෙන මේ මිහිරි සුඝන්ධය විඳගනු ලැබීය.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් මෙම දර්ශණ දේව මන්දීරය තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට දර්ශණ වී ඇති අතර, උන්වහන්සේව අපොස්තුළු ධූරයට ඔසවනු සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූයේ මෙම දර්ශණ දෙව්මැඳුර තුලයි.

 

මෙම දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත, ජේසු බිළිඳුන් සිය වම් හස්තයෙන් වඩවාගෙන ලයට තුරුළු කරගෙන සිටින මෙම දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය මුල් වරට පැතිරුනේ 2019 ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවසයි. එදායින් පසුව සතර වතාවක් මේ ප්‍රාතිහාර්‍යය සිදු වූ අතර, මෙම 2023 වසරේ මෙම ප්‍රාතිහාර්‍යය ඔක්තෝම්බර් 20 වෙනි දින සිදුවූයේ පස්වන වතාවටයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය තුල ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්චමල් සුවඳ පැතිරෙමින් තිබූ අවස්ථාවේ දී ගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවේ ඡායාරූප කීපයක් ඔබට මෙහි දැකගත හැකියි