අප ආදරණීය නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ මහත් වූ ප්‍රාතිහාර්‍යාත්මක සිදුවීමකට පසුගිය දා එනම් 2022 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මුහුණ දුන් සැදැහැවතුන් අදටත් ඒ අසිරිමත් සිදුවීම මහත් සෙනෙහසින් යුතුව සිහිපත් කරනු ලබයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම, දෙව් මවුන්ගේ සිද්ධස්ථානයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පළමුවන ශතවර්ෂයෙන් පසුව, ශත වර්ෂ විස්සක් ම ගෙවීයන වකවානුවේ, මේ ලෝකයට අපොස්තුළුතුමෙකු තෝරාගැනීම සඳහා දර්ශණය වූයේ මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය තුලයි. මෙම සිද්ධස්ථානය, මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත්කරමින්, දෙව් මවුන්ගේ කරුණාබර මැදිහත්කම සොයා එන දරුවන් වෙත පිහිට වීමෙන් ම, එවැනි තත්වයක් උදාකරනු ලැබූ කුමරි මරිය මාතාවෝ, පසුගිය අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස, එතුමිය කහ පැහැති රෝසමල් 123 ක් මත, විසිතුන් වතාවක් දර්ශණය වූ, දර්ශණ දේව මන්දීරය පිච්ච මල් සුඝන්ධයෙන් පුරවා, එතුමියගේ බැල්ම සහතික කලේ, මෙම සිද්ධස්ථානය තුල එතුමිය ජීවමාන බවට අපට හොඳ සාක්ෂියක් වෙමිනුයි. මේ මහා ප්‍රාතිහාර්‍යය සිදු වූ සතරවන වතාවයි මේ. පළමු වරට 2019 ජූලි 27 වෙනි සෙනසුරාදා සවස මෙය සිදු වූ අතර, දෙවන වරට 2020 ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා සවස සිදුවිය. 2021 ඔක්තෝම්බර් 9 වෙනි සෙනසුරාදා සවස මේ මහා ප්‍රාතිහාර්‍යය තුන්වන වරට සිදුවී, පසුගිය සෙනසුරාදා, එනම් 2022 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස සතරවෙනි වතාවට ද මෙය සිදුවූයේ අපගේ සැලකිල්ලට ලක්විය යුතු කරුණු කීපයක් ද එක්කරමිනුයි. එනම් පුරා අවුරුදු හතරක් ම මෙම ප්‍රාතිහාර්‍ය සිදුවීමට නිර්මල කන්‍ය මරිය මාතාවෝ අභිප්‍රාය කර ඇත්තේ සෙනසුරාදා දිනයන්මයි. එපමණක් ද නොවෙයි, එම සෙනසුරාදා දිනයන්වලත්, එතුමිය තෝරාගෙන ඇත්තේ සවස හාස්කම් යාච්ඤාව පිදෙන අවස්ථාවයි. හිත ඇත්නම් ඕනෑම කෙනෙකුට දෙව් මවුන්ගේ සරණය පතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ රැස්ව සිය හැකි වේලාවයි.

 

තවද වසර හතරක් පුරා දෙව් මවුන්ගේ මේ ස්වර්ගීය සුවඳ අප වෙත එවීමට, එතුමිය සෙනසුරාදාවන් තෝරාගැනීම මෙන්ම, ඒ සෙනසුරාදාවන්වල දී ත්, ඔබ සියළුදෙනා රැස්ව සිටින අවස්ථාවන් ම පමණක් තෝරාගැනීමෙන් පෙනී යන්නේ, දයාබර නිර්මල මරිය මාතාවන් සෙනසුරාදා සවස් යාමයේ ඔබ කාගේත් පැමිණීම බලාපොරොත්තුව සිටින බවයි.

 

දර්ශණ දේව මන්දීරය තුල ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රධාන ප්‍රතිමාවෙන් පසුගිය සෙනසුරාදා පැතිරුණ ස්වර්ගී පිච්ච මල් සුඝන්ධය, පෙර සියළු වසරවලට වඩා ඉතාමත් වැඩි සුඝන්ධයක් වූ බව පසුගිය වසර හතර පුරාම මෙම ආශ්චර්‍යයමත් අවස්ථාවට සහභාගි වීමට අවස්ථාව ලද බැතිමතුන්ගේ අදහසයි.

 

තමන්ගේ දෑස් ඉදිරියේම දෙව් මවු ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ විඳ ගැනීමට ලැබීම ඇත්තටම තම ජීවිතයේ ලබන පුදුමය උපදවන භාග්‍යවන්ත අත්දැකීමක් බව කිව යුතුමයි. ඔවුන්ගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ සතර වතාවක් සිදුවූ මෙම ප්‍රාතිහාර්‍යය නැවතත් සිදුවන දිනය පිළිබඳවයි.

 

ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීය තුල ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් සතර වෙනි වතාවටත් පිච්ච මල් සුවඳ පැතිරෙන අතරේ බැතිමතුන් දර්ශණ දේව මන්දීරය තුල පිච්ච මල් සුවඳ විඳ ගනිමින් අසිරිමත් ප්‍රතිමාව ඉදිරියේ දනින් වැටී යාච්ඤා කරනු ලැබූ අයුරු මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි