‛‛දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවන්ට දිය යුතු අත්‍යවශයම ත්‍යාගය සතුට යි. නිතරම විමසිලිමත් වන්න, දරුවා සතුටින් ජීවත්වෙනවා දැ යි සොයාබැලීමට. ඕනෑම දරුවෙක් සතුටුවන ප්‍රධානතම කරුණ වන්නේ, රසවත් ආහාර, සෙල්ලම් බඩු, ලස්සන ඇඳුම් වැනි දේ නොවෙයි. තමන්ගේ තාත්තත් අම්මත් ආදරයෙන් සතුටින් ජීවත්වෙනවා දැකීම දරුවෙකුගේ ලොකුම සතුටයි. තමන්ගේ තාත්ත යි අම්ම යි නිතර දබරකර ගන්නා ආකාරය දකින දරුවා, තමන්ගේ තාත්ත යි අම්ම යි නිතර ගුටි ඇන ගන්න ආකාරය දකින දරුවා, මනසින් කඩා වැටෙන තත්වය, දරුවාගේ සම්පූර්ණ ම අනාගතයට බලපානවා. බොහෝ දෙමාපියන්, තමන්ගේ දරුවන් පාසල් අධ්‍යාපනයට යොමුකල වහාම, ටියුෂන් පන්තිවලටත් යොමු කරන්නට පටන් ගන්නවා. නමුත් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නේ ‛ගෙදර’ නැමැති පාසැලෙන් බවත්, දරුවාට ගැලපෙන හොඳම ගුරුවරයා ජීවත්වන්නේ ගෙදර ම බවත් දෙමාපියන් අමතක කරනවා. දරුවාගේ තාත්තත් අම්මාත් තමයි දරුවාගේ හොඳම ගුරුවරයා. තාත්තත් අම්මත් දරුවාට ගුරුවරු දෙදෙනෙක් නොවෙයි, එක ගුරුවරයෙක්.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා ඉහත වදන් ප්‍රකාශ කරනු ලැබුවේ ජාඇල රංග පෙරේරා මහතා සහ සඳුනි පෙරේරා මහත්මියගේ වැඩිමහල් පුතු වූ නිර්මිත් මෙත්සර දරුවාගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් අධ්‍යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාවේ දීයි.

 

2023 ජූලි 24 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී මේ කුඩා දරුවාට හෝඩියේ මුල් අකුරු කියවීම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ආශිර්වාදයෙන් සිදුවූයේ, දරුවාගේ දෙමාපියන් සහ මිත්තණියගේ ද සිය කුඩා නැඟනියගේ ද සහභාගිත්වය ඇතිවයි.

 

නිර්මිත් මෙත්සර කුඩා පුතුගේ දෙමාපියන් අමතමින්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛සෑම දරුවෙක් ම උපතේ සිට ම උත්සහ දරන්නේ ඉගෙන ගැනීමටයි. ඒ නිසාතමයි, වචන පටල පටලවා කතා කරන්නට ආරම්භ කරත්දී ම ප්‍රශ්ණ අහන්නට ආරම්භ කරන්නේ. අර දේ ඇයි එහෙම වෙන්නෙ, ඇයි එහෙම කරන්නෙ, ඔයවගේ සිය දහස් ගණන් ප්‍රශ්ණ අහන්නේ, දරුවා ඉගෙන ගැනීමට ආරම්භකර ඇති නිසයි. මෙන්න මේ ප්‍රශ්ණ සහ දෙමාපියන් දෙන පිළිතුරුත් සමග තමයි, දරුවාගේ බුද්ධි වර්ධනය සිද්ධවෙන්නෙ.’’

 

‛‛අද 2023 වසරේ ජූලි 24 වෙනි දා. දැන් අපි ඉන්නේ 21 වෙනි සියවසේ. මේ කාලයේ මම දකිනවා, දෙමාපියන් දරුවන්ට අධ්‍යාපනය දෙන්න විශාල වියදමක් දරනවා. විශාල වියදමක් දරාගන්න බැරි දෙමාපියන් හදවතින් වැලපෙනවා. සමාජයේ පවතින මේ ඉල්ලුම නිසා, අද අධ්‍යාපනය, එක්තරා ව්‍යාපාරයක් බවට පත්වෙලා. මේ නිසාම හොඳ පාසැල් සහ නරක පාසැල්, පොහොසත් පාසැල් සහ දුප්පත් පාසැල්, උගන්වන පාසැල් සහ උගන්වන්නේ නැති පාසැල්, ඔන්න ඔය වගේ පාසැල් වර්ගීකරණය වෙලා.’’

 

මුලින්ම කුඩා දරුවාගේ හිස මත සිය අපොස්තලික දෝත් තබා ආශිර්වාද කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, සිංහල හෝඩියේ පළමු අක්ෂරය ද, ඉංග්‍රීසි හෝඩියේ පළමු අක්ෂරය ද, අංක එක ඉලක්කම ද, කුඩා දරුවාගේ අත අල්ලාගෙන සටහන් කරනු ලැබුවේ, දයාබර පියෙක් තම දරුවාව තුරුළු කරගෙන අකුරු උගන්වන ආකාරයටයි.

 

මෙලෙස මුල් අකුරු කියවා අවසන් කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, නැවතත් කුඩා දරුවාගේ හිස මත සිය අපොස්තලික දෝත් තබා ආශිර්වාද කරනු ලැබුවා. නිර්මිත් මෙත්සර කුඩා දරුවාට ද, සිය සිඟිති නැගනියට ද ත්‍යාග පිරිනැමූ අපොස්තලික පියතුමා, තව දුරටත් දෙමාපියන් අමතා මෙසේ පවසනු ලැබුවා.

 

‛‛අධ්‍යාපනයට යොමුවෙමින් මේ දරුවා තව ටික දිනකින් පාසැල් ගමන ආරම්භ කරයි. අද සමාජයේ ජීවත්වන බොහෝ දෙමාපියන් දන්නේ නැහැ, දරුවෙකුට අධ්‍යාපනයක් දිය යුතු සැබෑම හේතුව කුමක්ද කියලා. ඒ වගේම දරුවෙකුට අධ්‍යාපන දිය යුත්තේ කොහොමද කියලා. බොහෝ දෙමාපියන් හිතන්නේ මුළු දවස පුරාම, තමන්ගේ දරුවා පොත පෙරලාගෙන සිටිනවානම් එය තමයි අධ්‍යාපනය කියලා.’’

 

‛‛බොහෝ දෙමාපියන් සිතන්නේ අධ්‍යාපනය තියෙන්නේ පොතේ පමණයි කියලා. අධ්‍යාපනය කියන්නේ, සියළු මනුෂ්‍යයන්ගේ සම්පූර්ණ ජීවිතයයි. කෙනෙක් අධ්‍යාපනය අවසන් කරනවා කියන්නේ ජීවිතයේ ද අවසානයයි. දෙමාපියන් සිතන පාසැල් සහ ටියුෂන් අධ්‍යාපනය කියන්නේ, ජීවිතයේ යම් කොටසක් පමණයි.’’

 

නිර්මිත් මෙත්සර කුඩා පුතුගේ දෙමාපියන් වූ, රංග සහ සඳුනි යුවල විවාහයෙන් එක්කර නව යුග දිවියකට ආසිරි ගන්වනු ලැබුවේ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් විසින්මයි. ඒ 2019 ජනවාරි 17 වෙනි දිනයි. ඔවුන්ගේ කුළුඳුල් පුතුට 2023 ජූලි 24 වෙනි දින මුල් අකුරු කියවීම ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් සිදු කිරීම ද විශේෂත්වයක් මෙන්ම ආශිර්වාදයක්.

 

ජාඇල රංග පෙරේරා මහතා සහ සඳුනි පෙරේරා මහත්මියගේ වැඩිමහල් පුතු වූ නිර්මිත් මෙත්සර කුඩා දරුවාගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා අධ්‍යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි