ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අලලා, අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ඩීවීඩී තැටි දෙකක් නිකුත් කර ඇති අතර, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා සැබැඳි මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙමගින් හෙළි වී තිබෙනවා.

 

එයින් පළමුවැන්න, ‛‛සීමොන් සුරපුරට’’ යනුවෙන් නම්කර ඇති අතර, සිරේනියේ සීමොන් පිළිබඳව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පවත්වනු ලැබූ දේශණයක් ඊට ඇතුළත් වෙනවා.

 

ජේසුස් ස්වාමින් වහන්සේගේ කල්වාරි ගමනට සහය වෙමින්, උන්වහන්සේගේ කුරුසියේ බරට සහයක් වූ සිරේනියේ සීමොන් නම් ලත් මනුෂ්‍යයා, අද ස්වර්ග රාජ්‍යයේ සදාතනික සැපතට උරුමකම් කියන්නට සුදුසු වූයේ ඇයි?

 

කුරුසිය කරතබා යන ජේසු සමිඳාණන්, මිනිස් වෙස් ගෙන මෙලොවට පැමිණි ‛‛සර්වබලධාරී දෙවියන් වහන්සේ’’ බවත්, තමන් කර දුන්නේ උන්වහන්සේගේ කුරුසියට බවත්, පසුව දැනගත් සිරේනියේ සීමොන්, ඊළඟට ගත් එඩිතර පියවර කුමක්ද?

 

ටික දුරක් කුරුසිය කර තබා යන විට, කුරුසියේ බර, සීමොන් ට පමණක් සැහැල්ලු වූයේ කෙලෙසකින්ද?

 

මේ බොහෝ දේ පිළිබඳව සියල්ල දැනගත්, සිරේනියේ සීමොන්ගේ භාර්‍යාවත්, පුතුන් දෙදෙනාත්, සීමොන්ට පැවසුවේ කුමක්ද? ඔවුන් සිද්ධියෙන් පසුව ගනු ලැබූ පියවර කුමක්ද?

 

මේ සියල්ල ඔබට පැහැදිලි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු දසසතරවෙනි අපොස්තුළුතුමන්ගේ දහම් විග්‍රහය, ‛‛සීමොන් සුරපුරට’’ ඩීවීඩී තැටිය, ඔබ කැමති නම්, ඔබට මිළ දී ගත හැක්කේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ආගමීක භාණ්ඩ මධ්‍යස්ථානයෙන් පමණයි.

 

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් නිකුත් කර ඇති දෙවන ඩීවීඩී තැටිය නම් කර ඇත්තේ, ‛‛අපොස්තුළුතුමෙක් සමගින් කුරුසිය පාමුළ’’ යනුවෙනුයි.

 

ශරීරයෙන් ප්‍රාණය ඉවත්ව යන තුරු ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ එල්ලා තැබූ දිනයේ දී උන්වහන්සේ දෙපස සොරුන් දෙදෙනෙකු ද කුරුසවල එල්ලා තිබුන බව ශුද්ධ වූ බයිබලයේ සුවිශේෂකවරු සතර දෙනාම සඳහන් කර ඇත. දෙපස ඇණගසා සිටි සොරුන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට නින්දා කරනු ලැබූ බව මතෙව් තුමා සඳහන් කර ඇති අතර, ලූක් තුමා සඳහන් කර ඇත්තේ එල්ලා සිටි එම වරදකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් උන්වහන්සේට අපහාස කල බවයි. ජේසුස් ස්වාමින් වහන්සේගේ වම් පස සහ දකුණු පස සොරුන් දෙදෙනෙකු කුරුසවල ඇණ ගසනු ලැබූ බව පමණක් මාක් තුමා සඳහන් කර ඇති අතර, කුරුසිය පාමුළ සිටි ජුවාම් අපොස්තුළුතුමා ලියා ඇත්තේ උන්වහන්සේ සමග තවත් දෙදෙනෙකු දෙපසින් සහ උන්වහන්සේ මැදිව ද සිටින සේ ඇණ ගැසනු ලැබූ බව පමණයි.

 

ඇත්තටම සොරුන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කලාද, නැත්නම් එක් අයෙක් පමණක් අපහාස කලාද?……. මෙම ගැටළුව විසඳමින් සහ මෙහි සත්‍ය හෙළි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා 2019 මහ සිකුරාදා දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරයේ දී, පවත්වනු ලැබූ, දුක්ප්‍රාප්ති දේව මෙහෙයේ දී, ජේසුස් ස්වාමින් වහන්සේගේ කුරුසිය පාමුළ සිට පවත්වනු ලැබූ දේශණය ඩීවීඩී තැටියක් ඔස්සේ නරඹමින් ම සවන් දිය හැකි අයුරින්, අපොස්තුළුතුමෙක් සමගින් කුරුසිය පාමුළ නම්වූ ඩීවීඩී තැටිය, අපොස්තලික මාධ්‍ය ජාලය මගින් නිකුත්කර ඇති අතර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ආගමික භාණ්ඩ මධ්‍යස්ථානයෙන් පමණක් ඔබට ලබාගත හැකියි.

 

ඔබ කුමණ කිතුණු සභාවකට අයිති වුනත්, ඔබගේ අවසන් ප්‍රාර්ථනය මරණයෙන් පසුව ස්වර්ග රාජ්‍යය ලබාගැනීම නේද? එක් එක් සභාවන්ට අනුව බෙදා වෙන්කරගත් ‛මිනී පිට්ටනි’ තිබුනත්, එක් එක් සභාවන්ට අනුව වෙන්කල ස්වර්ග රාජ්‍යයන් නොමැත. මෙම පැහැදිලි සත්‍යය තේරුම් අරගෙන, දිනෙක අනිවාර්‍යයෙන්ම ඔබට මුහුණ දෙන්නට සිදුවෙන මරණයට, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව, මරිය තුමිය පිළිබඳව, හැකි තරම් දැනගන්න, හැකිතාක් නිවැරදි කරුණු අවබෝධ කරගන්න.

 

අවුරුදු දහස් ගණනකට පසුව ලොවට අපොස්තුළුතුමෙක් පහළ වී ඇති යුගයක ජීවත්වන ඔබ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නිවැරදිව දැනගන්න, හැකිතාක් උන්වහන්සේගේ දහම් දෙසුම්වලට සවන් දෙන්න. ඉතාමත් නිවැරදි ක්‍රමය වන්නේත්, ඉතා පහසුම ක්‍රමය වන්නේත් එයයි. අන්තර්ජාලයේ, අපගේ යූටියුබ් නාලිකාව ඔස්සේ ද, ඔබට සවන් දිය හැකියි.

 

මෙලොවින් ඔබ සමුගැනීමට පෙර, ජේසු වදාළ ධර්මය නිවැරදිව දැනගන්න – ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දහම් දෙසුම් ශ්‍රවණය කරන්න.

 

ඔබ දන්නවාද, ක්‍රිස්තුස් වහන්සේ කර ඇති මේ ප්‍රකාශය. ‛‛පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන්කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති’’. ශුද්ධවූ බයිබලයේ, ශුද්ධෝත්තම මතෙව් අපොස්තුළුතුමා ලියා ඇති, ජේසුස් ස්වාමින් වහන්සේගේ චරිතාපදානයේ, එකළොස් වෙනි පරිච්ඡේදයේ, 27 වෙනි වගන්තිය ලෙසින් මෙය සටහන් වී තිබෙනවා.

 

එසේනම් ‛‛පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක්’’ දැන් මේ ලෝකයේ සිටින්නේද? එසේ සිටින්නේ නම්, ඒ අපොස්තුළුතුමෙක් විය යුතුය. මන්ද ‛‛පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක්’’ ව හඳුන්වනු ලබන්නේ ‛‛අපොස්තුළුතුමෙක්’’ ලෙසටයි.

 

සතුටුයි කියන්න, දැන් අපිට, ක්‍රිස්තුස් වහන්සේ වෙතින් අපොස්තුළුතුමෙක් ලැබී තිබෙනවා. කුමකටද? පියාණන්වහන්සේ ගැන දැනගැනීම සඳහා. එසේනම් පියාණන් වහන්සේ වැඩ සිටින ස්වර්ග රාජ්‍යය ගැන දැනගැනීමටත් මාර්ගය වන්නේ එයයි.

 

ඇත්තටම ඒ කතාව හරි, හරියටම හරි. ‛‛ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.’’ ක්‍රිස්තුස් වහන්සේ මෙලෙසින්, අපොස්තුළුතුමන්ලාට ප්‍රකාශ කරනු ලැබූ බව ද සඳහන් කරන්නේ, ශුද්ධෝත්තම මතෙව් අපොස්තුළුතුමයි. උන්වහන්සේ ලියනු ලැබූ, ජේසුස් ස්වාමින් වහන්සේගේ චරිතාපදානයේ, දසතුන් වෙනි පරිච්ඡේදයේ, එකළොස් වෙනි වගන්තිය ලෙසින් මෙය ලියා තිබෙනවා. මෙම වගන්තිය අනුවත් සනාථවන්නේ, වෙනත් කිසිවෙකුටවත් නොදුන් ලෙස, ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස අපොස්තුළුතුමන්ලාට හෙළිකර ඇති බවයි. ඒ නිසා තමයි, ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව, සාමාන්‍ය මිනිස් අපි අසන ඕනෑම ප්‍රශ්ණයකට, අපොස්තුළුතුමෙක් විසින්, ‛ඒක අභිරහසක්’ යයි නොකියා, අන් අය අභිරහස් යයි පවසන දේ, අපට වැටහෙන ලෙසින් පහදා දෙන්නේ.

 

අවුරුදු දහස් ගණනකට පසුව ලොවට අපොස්තුළුතුමෙක් පහළ වී ඇති යුගයක ජීවත්වන ඔබ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නිවැරදිව දැනගන්න. හැකිතාක් උන්වහන්සේගේ දහම් දෙසුම්වලට සවන් දෙන්න. අන්තර්ජාලයේ, අපගේ යූටියුබ් නාලිකාව ඔස්සේ ද, ඔබට සවන් දිය හැකියි.

 

සර්වබලධාරී දෙවියන් වහන්සේ, මනුෂ්‍ය ආත්මයක් ගෙන, මෙළොවට පැමිණ ජීවත් වුනා. ඇත්තට ම උන්වහන්සේ අවුරුදු කීයක් මේ මහ පොළව මත ජීවත් වුනාද කියලා මම ඔබෙන් ඇසුවොත්, ඔබ කියයි, අවුරුදු තිස්තුනක් කියලා. මනුෂ්‍ය ආත්මයක් ගෙන, ‛ජේසුස්’ යන නමින් මෙලොවට පැමිණ ජීවත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මේ මහ පොළව මත ජීවත් වූයේ වසර 33 ක් නොවේ. ඇත්තට ම සිදු වූයේ, එම කාලයේ ජීවත් වූ මිනිසුන් උන්වහන්සේට ජීවත් වීමට ඉඩ දුන්නේ, වසර තිස්තුනක් පමණයි. උන්වහන්සේට දස වධ දී අමු අමුවේ ම මරා දැම්මා. අද ජීවත්ව සිටින අප වැනිම මිනිසුන් පිරිසක් තමයි ඒ ටික කලේ. එදා අපි සිටියා නම්, අපිත් උන්වහන්සේව මරා දැමීමේ ක්‍රියාවලියට හවුල් වෙන්නට හොඳටම ඉඩ තිබුණා. ‛ජුසේ වඩු බාසුන්නැහැගෙයි, මරියාගෙයි, පුතා, නාසරෙතයේ හැදී වැඩී, අවුරුදු තිහක් වූ තරුණ කාලයේ දී, ‛මම තමයි දේව පුත්‍රයා’ කියලා දේශනා කරත් දී ඔබ එදා සිටියා නම්, ඔව්, ඔව්, ඔබ තමයි දේව පුත්‍රයා කියලා, ජේසු තුමන් ලඟ දණගසයි ද?

 

ඔබට අළුතින් සිතන්නටත්, ඔබගේ දැනුම වර්ධනයටත් තමයි, අපි ඔබට මේවා සරළව පවසන්නේ. මේ සියල්ල, අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමා, මේ ඔබත්, මමත් ජීවත්වන ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අදටත් ජීවමානව වාසය කරන්නා වූ, ශුද්ධෝත්තම දසසතර වෙනි අපොස්තුළුතුමා, අපටත් අළුතින් සිතන්නට උගන්වා ඇති මේ දේවල්, මම දැන් ඔබටත් පවසන්නේ, ඇත්ත සොයා ගැනීමට, හොඳට සිතන්නට, ඔබට උදව්වක් ලෙසටයි.

 

කරුණාකර තරහ නැතිව, මේ ටිකත් කියවන්න. ජේසුස් ස්වාමින් වහන්සේට මුහුණ දෙන්නට සිදු වූ එක් අවාසනාවන්ත සිදුවීමක්, මාක් තුමා ලියා ඇති, ජේසුස් ස්වාමින් වහන්සේගේ චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා. හොඳින් කියවන්න.

 

‛‛උන්වහන්සේට සවන් දුන් සමූහයා විස්මිතව, ‛මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද? මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද?……. කියා ඔව්හු උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ’’

 

එදා සිදු වී ඇති දේ පැහැදිලියි නේද? මම කියන දේ විශ්වාස කරන්නට අමාරු නම්, ඔබගේ ගෙදර තිබෙන, ශුද්ධ වූ බයිබලය පොත අරගෙන, මාක් තුමාගේ සුවිශේෂය තෝරාගෙන, හයවෙනි පරිච්ඡේදය පෙරළාගෙන, දෙවෙනි වගන්තියේ සිට පස්වෙනි වගන්තිය දක්වා කියවන්න. එතනින් නතර වෙන්නේ නැතිව දිගටම කියවන්න. ඔබට හොඳ හොඳ දේවල් කියවාගන්නට පුළුවන්. ‛අනේ මම හිටියානම්, උන්වහන්සේට ඔහොම වෙන්න දෙන්නෙ නැහැ, මම කොහොම හරි උන්වහන්සේව බේරා ගන්නවා’ කියලා, බොරු කතා කියන්නේ නැතිව හොඳට හිතලා බලන්න.

 

දේව පුත්‍රයා පැමිණි කාලය, අද කාලය වුනා නම්, දේව පුත්‍රයා පැමිණි දේශය, ශ්‍රී ලංකාව වුනා නම්, වඩු බාස් කෙනෙකුගේ පුතෙක්, ‛මම තමයි දේව පුත්‍රයා, මාර්ගය ද, සත්‍යය ද, ජීවනය ද මමයි, ඔබලාව ගලවාගෙන ස්වර්ගයට මග පෙන්වන්නයි මම ආවෙ’ කියල කිව්වානම්, ඔබගේ ප්‍රතිචාරය කෙලෙස සිදු වෙයිද? එදා මිනිසුන් ජේසුස් ස්වාමින් වහන්සේට දැක් වූ ප්‍රතිචාරයත්, අද ඔබ දක්වන ප්‍රතිචාරයත් අතර වෙනසක් තිබෙයි ද?

 

මේ සියල්ලක් ඔබගේ බුද්ධියට භාර කරමින්, ඔබට සිතන්නට මම තවත් පවසන්නේ, අද අපිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් අපොස්තුළුතුමෙක් ලැබී තිබෙනවා. ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වෙලා පත්කරපු පළමුවෙනි අපොස්තුළුතුමා නොවෙයි මේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වෙලා පත්කරපු දෙවෙනි අපොස්තුළුතුමයි මේ. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අදටත් ජීවත් වෙන්නේ. සත්තකින් ම අපිට අළුතින් සිතන්නට දෙයක් නැහැ. ‛මෙවැන්නක් සිදු විය හැකිද, මෙවැන්නක් කෙසේ සිදුවිය හැකිද,’ කිය කියා සිතන්නට දෙයක් නැහැ. මේ සිද්ධිය මීට කලින් සිදුවෙලා තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වෙලා, අපොස්තුළුතුමෙකුව පත්කරලා තිබෙනවා. ඒ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා. ඒ අපොස්තුළුතුමාවත් මිනිසුන් මරා දමලා, දැන් ඒ නමින් පල්ලිත් හදලා තියෙනවා. එයින් බොහෝ කාලයකට පසුව, අවුරුදු දහසකටත් වැඩි කාලයකට පසුව, දැන් නැවත ඉතිහාසය එලෙසින් ම සිද්ධ වෙලා තියෙනවා. අළුතින් සිදු වූ දෙයක් නොවෙයි, ඉතිහාසය එලෙසින් ම සිදුවී තිබෙනවා.

 

අද ජේසුස් ස්වාමින් වහන්සේගේ මරණය ගැන ලතැවෙන ඔබ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාව මරා දමා උන්වහන්සේගේ ප්‍රතිමා, පින්තූරවලට වඳින පුදන ගමන් දැවැන්ත දෙව්මැඳුරුද තනවා ඇති ඔබ, අද ජීවත්වන අපොස්තුළුතුමාවත් මරණයට පත්කර, අනාගත ඔබේ මුණුපුරු මිණිපිරියන්ට ප්‍රතිමා සාදවා, දෙව්මැඳුරු සාදවන්නට බලා සිටින්නෙක් ද?

 

අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පවසන පරිදි, කිසිවෙකුගේ හෝ කිසිවකගේ වහලෙක් නොවී නිදහසේ කල්පනා කරන්න. ආගම නැමැති රාමුව තුල කොටු නොවී, ධර්මය තුල නිදහසේ සතුටින් ජීවත්වන්න. හොඳට විමසිල්ලෙන් බලන්න. අප දසසතරවෙනි ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පූර්ණකාලීන බැතිමතුන්, සියයට සියයක්ම බැතිමතුන්, උන්වහන්සේගේ ධර්ම දේශණා නිරන්තරයෙන් ශ්‍රවණය කරන බැතිමතුන්, සියල්ල ගැන කල්පනා කරනවා. ආගම නැමැති රාමුව තුල කොටු වෙන්නේ නැතිව, ධර්මය තුල නිදහසේ ජීවත් වෙනවා.

 

පසුගිය වසරේ මහ බ්‍රහස්පතින්දා දිනයේ (2021 අප්‍රියල් 1 වෙනිදා) මුල්ම ඩීවීඩී තැටි තොගය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් සැදැහැවතුන් විසින් ලබාගන්නා අයුරු මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි