‛‛අනික් අයව පහත් කිරීම, අනික් අයව හෙලා දැකීම, අන්න ඒක බොහෝම නරකයි, කැතයි. මේ ජාතියෙ පණ්ඩිතයො අද බොහෝම දකින්නට ලැබෙනවා. කොහෙද දන්නවද, මේ ගොල්ලො ෆේස්බුක්, යූටියුබ්, බදු අරගෙන ඉන්නවා. ඒගොල්ලො හිතන්නෙ, තමන් තමයි ක්‍රිස්තුස්වහන්සේ ගැන දන්නෙ, තමන්තමයි ක්‍රිස්තුස්වහන්සේ වදාල ධර්මය දන්නෙ, තමන් තමයි මරිය තුමී ගැන දන්නෙ, තමන් තමයි මරියතුමියට උපන් දරුවා ගැන දන්නෙ, ඒ විතරක් නොවෙයි, මේ ගොල්ලො හිතන්නෙ, තමන් තමයි සෑමදේම දන්නේ, ඒ ගොල්ලො විතරමයි කියලා. තමන් තමයි හරිම එක දන්නෙ කියලා ඒ ගොල්ලෝ හිතනවා. ඉතින් තමන් තමයි සියල්ල දන්නෙ කියලා හිතාගෙන කටමැත දොඩවනවා විතරක් නෙමෙයි. ෆේස්බුක් එකේ අකුරු කොටනවා. මේවා දකිනකොට මට හිතෙනවා ඇත්තටම මේ මිනිස්සුන්ට ගෙවල්වල වැඩ නැද්ද කියලා.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, 2023 දෙසැම්බර් 24 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනුයි.

 

නත්තල් උදාවට සති කීපයකට පෙර අන්තර් ජාලයේ ෆේස්බුක් ගිණුමක පලවී තිබුණ, මරිය තුමියට අපහාස වන ලිපියක් පිළිබඳව සිය දේශණයේ දී හෙළි කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ලිපියේ මාර්තෘකාව පවසා, ‛‛මම ලිපිය කියවන්නෙ නැහැ, නමුත් ලිපියේ මාර්තෘකාව ඔය ගොල්ලන්ට ඇහුණ නේ. ඉතින් හිතාගන්න පුළුවන් නේද ලිපියේ මොනව අකුරු කොටා ඇති ද කියල. අවුරුදු දෙදහකුත් ගත වුනාට පස්සේ තාමත් මේ උපත පිළිබඳව අවලාද නගන, දොස් කියන, අපහාස කරන පුද්ගලයෝ ඉන්නවා’’ යයි පැවසූහ. ‛‛මරිය තුමී කන්‍යාවක්ව සිටියදී දරුවකු පිළිසිඳ ගැනීම තමයි මෙතන ප්‍රශ්නේ. ඒ ගැන තමයි මේ කියන්නේ. ඇත්තටම මේ සිද්ධිය, මේ කාලේ උනානම් ඔයගොල්ලෝ මොකද කියන්නේ? ඒකත් පොඩ්ඩක් හිතන්න’’ යයි උන්වහන්සේ රැස්ව සිටි බැතිමතුන් අමතා ප්‍රකාශ කල සේක.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුරේ දී මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර, 2023 නත්තල, උන්වහන්සේ අපොස්තුළු ධූරයට පත්කරනු ලැබීමෙන් පසුව සමරණු ලැබූ උන්වහන්සේගේ 49 වෙනි නත්තල විය.

 

විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ, දර්ශණ දෙව්මැඳුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ මෙලෙසින් ද පවසනු ලැබූ සේක.

 

‛‛මරිය තුමියගේ පළමු දරුවා විතරක් නොවෙයි, එකම දරුවාත් වුන ජේසු බිළිඳාගේ උපත පිළිබඳව ඇත්ත කතාව අපි දන්නවා. නොදන්න අයට ඒ ගැන කැක්කුමක් තියේනම්, ඒ දිව්‍ය උපත ගැන හරියටම දන්න කෙනෙක්ගෙන් අහගන්නෙ නැතිව මේ විදිහට අපහාස කරල, නින්දා කරල ප්‍රචාරය කරනඑක මොනතරම් අපරාධක්ද?’’

 

රැස්ව සිටි සැදැහැවතුන් වෙත ප්‍රශ්ණයක් යොමු කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අසා සිටියේ, ‛‛මෙවැනි ලිපියක් ෆේස්බුක් එකේ කියවන්න ලැබුනොත් ඔයගොල්ලො විශ්වාස කරනවාද?’’ යනුවෙනුයි. ඊට පිළිතුරු දෙමින් සැදැහැවතුන් එක හඬින් පවසා සිටියේ, ‛නැහැ’ කියායි. ඊට පිළිතුරු දුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ‛‛ඇයි ඉතින් ෆේස්බුක් එකේනෙ තිබුනෙ. ඇයි විශ්වාස කරන්නේ නැත්තෙ? යුටියුබ් එකෙත් තිබුණා. ඔයගොල්ලො සාමාන්‍යයෙන් එහෙමනේ ඒවා පිළිගන්නෙ. ෆේස්බුක් එකේ දෙයක් තිබුනොත්, කටු තිබුනත් ගිලගන්නවා. ගිලල කියනවා ෆේස්බුක් එකේනෙ තිබුනෙ. අනික් එක්කෙනා කියනවා, ඇයි යූටියුබ් එකෙත් තිබුණා. ඊට පස්සෙ මොකද කරන්නෙ, දන්න දන්න අයට ෂෙයා කරනවා, දන්න දන්න අයට ෂෙයා කරනවා.’’

 

‛‛මාගේ ප්‍රේමවන්ත දරුවෙනි, මෙවැනි පවුකාරයන්ගේ ක්‍රියා තුලින් මේ නත්තල් දවසේ ඔයගොල්ලො පාඩමක් ඉගෙන ගන්නට ඕනා’’ යයි පවසනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ‛‛මෙවැනි කාලයක, ඔයවැනි අශීලාචාර මිනිස්සු සමාජ මාධ්‍ය අරක්ගෙන ඉන්න කාලයක, ඔයගොල්ලො අතිනුත් මෙවැනි වැරදි සිදුවෙන්නට ඉඩ ඇති නිසා සහ දැනටමත් සිදුවෙලා ඇත්තම් ඉදිරියේදීවත් එවැනි අශික්ෂිත වැඩ නොකරන්න අද ඔබට මම මේ දේශණයෙන් අවවාද කරන්නට කැමතියි’’ යනුවෙන් ද පැවසූහ.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තවදුරටත් සැදැහැවතුන් අමතමින් මෙලෙසින් ද පවසනු ලැබුවා.

 

‛‛හරියට කරුණු කාරනා විමසා බලන්නෙ නැතුව, සත්‍ය තොරතුරු දන්නෙ නැතුව, ගුණයක් කියන්න ඕන කෙනෙකුගේ දුර්ගුණ කියවා කියවා ඉන්නවා විතරක් නෙමෙයි, මහා ලොකු දෙයක් සොයා ගත්තා වගේ ෆේස්බුක් එකෙත් ලියනවා. හරි සොයාගැනීමක් කරල ද ඕවා ලියන්නෙ? දැන් බලාගෙන ගිහාම පට්ටපල් බොරු ප්‍රචාරය කරන්නත් ෆේස්බුක් එක යොදා ගන්නවා. ඒ නිසා ඔයගොල්ලො පරෙස්සම් වෙන්න. මරිය තුමී ගැන විතරක් නොවෙයි, අපි අතරෙ ඉන්න අය ගැන පවා අපිට ෆේස්බුක් එකෙන් අහන්න, දකින්න, කියවන්න, ලැබෙනවා. ඉතින් මේ වගේ අයට ඇත්ත මේකයි කියලා, බලහත්කාරයෙන් පිළිගන්වන්න අපිට ඕනකමක් නැහැ. මොකද සමහර අය ඉන්නවා, ඇත්ත දැනගන්න කැමති නැහැ. ඒගොල්ලො හැම එකත් එක්කම හැප්පෙන්න, හැම දේත් එක්කම රණ්ඩු වෙන්න, හැම දේම පහත් කරන්න, සමච්චල් කරන්න, අවමං කරන්නම කට ඇරන් ඉන්න අයට ඒ වගේ උතුම් දිව්‍ය පුත්‍රයෙකුගේ උත්පත්තිය පිළිබඳව, ඒ අසිරිමත් සිදුවීම සිද්ධ වෙච්ච දේව සැලැස්ම පිළිබඳව, එවැනි අය කොහොමත් පිළිගන්නේ නැහැ. ඉතින් එවැනි අයට අපි ඒවා පිළිගන්වන්න අවශ්‍යතාවයකුත් නැහැ.’’

 

‛‛මාගේ ප්‍රේමවන්ත දරුවෙනි, ඇත්ත නැත්ත විමසා බලන්නෙ නැතුව, ඔයගොල්ලන්ගෙ, අතින් කටින් අගය කල යුතු අයගේ දුර්ගුණ කියන වෙලාවල්, ලියන වෙලාවල් තියෙනවා. හරි හොඳ යහපත් ගති, ඇත්තටම තියෙන අය ඉන්නවා, බොහෝ කැපකිරීම් කරගෙන කටයුතු කරන අය ඉන්නවා. නමුත් සමහරු හොයන්නෙ බලන්නෙ නැතුව කටට එන එන ඒවා කියලා දානවා. එක දවසක්වත් ලඟින් ආශ්‍රය කරලා නැහැ, කටට එන එන ඒවා කියනවා. හිතෙන හිතෙන ඒවා කියනවා. අද අපි මේ උත්පත්තිය සමරණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වසර දෙදහසකටත් වැඩි කාලයකට පෙර මෙසේ උපත ලබලා, ගවහලෙන් පිටත්ව ගිහිල්ලා දේශණා කරමින් උන්වහන්සේ කිව්වා, මෙවැනි අපහාස පිළිබඳව. මතෙව් තුමාගේ සුවිශේෂයේ පසළොස්වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා උන්වහන්සේගේ වචන. ‛‛අපහාස නික්මෙන්නේ සිතින්ය. මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේ වලිනි’’ (මතෙව් 15/ 19-20) උන්වහන්සේ කියනවා මේ අපහාස නික්මෙන්නේ, කටින් කිව්වත්, අතින් ලිව්වත්, කොහෙන්ද මේ අපහාස එන්නේ, සිතෙන්. මොනවගේ මිනිසුන්ගෙන් ද මේ වගේ අපහාස එන්නේ? කෙලෙසුනු සිත් තියන මිනිසුන්ගෙන්. කෙලෙසුනු සිත් තියන මිනිස්සු තමයි, අපහාස ලියන්නෙ, අපහාස කරන්නෙ. ඉතින් කියවන අපහාස මදිවට ෆේස්බුක් එකේත් ලියනවා.’’

 

‛‛සමහර යහපත්, ඇත්තටම යහපත් මිනිස්සුන් එක්ක තියන මොකක් හරි තරහවක්, ඊර්ෂ්‍යාවක්, පිරිමහගන්න මහා හයියෙන් ඝෝෂා කර කර දුර්ගුණ කියනවා. එක දවසක් ආශ්‍රය කරලා නැතුව, එක දවසක් ලඟින් ඉඳලා ඇසුරු කරලා නැතුව, දුර්ගුණ කියනවා. මෙවැනි මිනිසුන්ට මොනවා වෙයිද? ප්‍රිය දරුවෙනි, අපිට මෙලොව විතරක් නෙමෙයි, පරලොවකුත් තියෙනවා. අද මේ නත්තල් දිව්‍ය පූජාවට සහභාගිවෙන මේ දෙව්මැඳුරෙත්, සිද්ධස්ථාන භූමියෙත් රැස්වෙලා සිටින ඔබ සියළුදෙනා මෙලොවක් විතරක් නොවෙයි, එලොවකුත් තිබෙන බව විශ්වාස කරන නිසා තමයි, ඔබ මේ නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වෙන්නෙ. ඔබ එලොවක් නැහැ යි කියලා සිතනවානම්, පරලොවක් නැහැ යි කියලා විශ්වාස කරනවානම්, ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන්නට බැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් අප සිහිපත් කරන්නෙ, පරලොව සිටි, ස්වර්ගයේ සිටි, ආත්මයක්, මරිය තුමියගේ කුසයට ඇවිල්ලා පිළිසිඳගෙන, අද වගේ දවසක ජනිත වූ බවයි අපි මේ සිහිපත් කරන්නෙ. එලොවක් නැහැ යි කියනවානම්, ඔයගොල්ලන්ට නත්තලකුත් නැහැ. එලොවක් තියෙනවානම්, අන්න ඒබව දැනගෙන, කරුණාකරලා, මෙලොවක් විතරක් නොවෙයි, එලොවකුත් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න.’’

 

‛‛ප්‍රියාදර දරුවෙනි, සෑම මිනිසෙකුගේම ගුණ අගුණ දෙකම තියෙනවා. සමහර මිනිසුන්ගේ ගුණවත්කම් වැඩියෙන් තියෙනවා. ඒ උතුම් ගුණ අපි දන්නෙවත් නැතුව, අඳුන ගන්නෙවත් නැතුව අපි කියනවා එයා දුෂ්ශීලයෙක්, පවුකාරයෙක්, එයාගෙ හැටි අපි දන්නවා කියලා.’’

 

‛‛අද උපත සමරණ අපේ ක්‍රිස්තුස් වහන්සේවත් ඔය ජාතියේ මිනිස්සු තමයි විවිධ චෝදනා එල්ල කරල අන්තිමේ දී කුරුසියක එල්ලලා මරල දැම්මෙ. ඇයි යහගුණ සහිත කෙනෙක් ගැන කිසිදු කරුණු කාරණා විමසා බැලීමක් නැතුව කටට ආ පලියට, අන් අය කිවූ පලියට දුර්ගුණ කිව්වා, දුර්ගුණ ප්‍රචාරය කලා. අවසානයේ මරල ම දැම්මා.’’

 

‛‛ලඟින් ඇසුරු කරලාත් නැතුව, වර්ණනා කරන්න සුදුසු ගුණ ඇති කෙනාගේ දුර්ගුණ කියව කියවා ඉන්න එපා දන්නෙ නැතුව. ඔබට යම්කෙනෙක් ගැන දැනගන්න ඕන නම්, චරිත සහතිකයක් දෙන්න ඕන නම්, එයාගේ ගුණ අගුණ හඳුන ගන්න අවශ්‍ය නම්, ලඟින්ම ඇසුරු කරන්නට ඕනා. ලඟින් කියන්නේ එකම ස්ථානයේ ඉන්නට ඕනා, එකම වහලය යට ජීවත් වෙන්නට ඕනා, නැත්නම් කියන්නට බැහැ. එකම ස්ථානයේ සිටියත්, එකම ගෙදර සිටියත්, හොඳ කල්පනාවකින් තොරව සිටියොත්, ඒත් කෙනෙක් හොඳ ද නරක ද කියලා කියන්න බැහැ.’’

 

ඡායාරූප:- 2023 වසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරමින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුරේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පුද දෙනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාවේ විවිධ අවස්ථාවන් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි