‛‛ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධවූ උත්ථානය අපි සතුටින් සිහිපත් කරනු ලැබුවත්, කුමන අවස්ථාවක දී වත්, කෙසේවත්, අපට උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය අමතක කරන්නට බැහැ. ක්‍රිස්තියානින් හැටියට උන්වහන්සේගේ කුරුසිය, උන්වහන්සේගේ ජීවිත පූජාව අමතක කරලා අපට ජීවත් වන්නට බැහැ. ඒ තුලින් සියලු කිතුනුවන් ජීවයක් ලබනවා. උන්වහන්සේගේ ශුද්ධවු කුරුසයේ පූජාව අපි සිහිපත් කරන සෑම අවස්ථාවකදීම අපගේ හදවත් උන්වහන්සේ කෙරෙහි දයාබරව එසවෙනවා. එය එසේ විය යුතුයි, සැබෑ කිතුනුවෙකුගේ හෙවත් උන්වහන්සේගේ දෙසුම් අනුව ජීවත් වෙන ක්‍රිස්තියානිකාරයෙකුට එසේ විය යුතුයි.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ 2023 අප්‍රියල් 9 වෙනි පාස්කු ඉරුදින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ දී යි.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන වීම සමරමින් දර්ශණ දෙව් මැඳුර තුලදී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් පුද කරනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින් එසේ පවසනු ලැබූ උන්වහන්සේ, රැස්ව සිටි බැතිමතුන් වෙත පැනයක් යොමු කරමින් මෙලෙස විමසනු ලැබුවා.

 

‛‛ප්‍රියාදර දරුවෙනි, ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වුනා, උන්වහන්සේව මැරුවා. උන්වහන්සේගේ ශරීරය, මෘත ශරීරය භූමදානය කළා. උන්වහන්සේත් තමන්ගේ ප්‍රාණය පූජා කරමින් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මෙලොවින් සමුගත්තා. එසේ නම් එදා උන්වහන්සේ කොහාටද ගියේ? ‛‛පියාණෙනි, ඔබවහන්සේගේ හස්තයට මාගේ ආත්මය භාර දෙමි’’ කියලා උන්වහන්සේ කොහාටද ගියේ? අපි උන්වහන්සේගේ උත්ථානය සමරනවා, ඔයගොල්ලෝ මීට අවුරුදු ගණනාවක සිට ජේසුස් ස්වාමින් වහන්සේගේ මේ උත්ථානය සමරල තියෙනවා. එසේනම් උන්වහන්සේගේ ශරීරයෙන් වෙන් වූ ප්‍රාණය, ආත්මය, මේ උත්ථානය සඳහා නැවත උන්වහන්සේගේ ශරීරය හා ඒකාබද්ධ වුනේ කොහේ සිට ඇවිල්ලද?’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේශණයට සවන් දෙමින් සිටි බැතිමතුන් අතරින් කිහිප දෙනෙක් ම පැනයට පිළිතුරු දෙමින් ‛පාරාදීසයේ’ සිට යයි පවසනු ලැබුවා.

 

එවිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තවත් පැනයක් යොමු කරමින් බැතිමතුන් වෙතින් මෙලෙස අසනු ලැබුවා.

 

‛‛ජේසුස් ස්වාමින් වහන්සේ පාරාදීසයට ගියේ තනියමද? උන්වහන්සේ පාරාදීසයට ගිහිල්ලා නැවත ආත්මය ශරීරය සමඟ ඒකාබද්ධ වන තෙක් හිටපු පාරාදීසයට, උන්වහන්සේ මේ ලෝකයෙන් ගියේ තනිවමද? කුමන අපොස්තුළු තුමා සමඟද ගියේ? බලන්ඩ කියන්න.’’

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෙම පැනයට ද බැතිමතුන් කිහිප දෙනෙකුගේ ම පිළිතුර වූයේ, දකුණු පස හිටපු අපරාධකරුවා සමඟ තමයි උන්වහන්සේ පාරාදීසයට ගියෙ යනුවෙනුයි.

 

සිනහ මුසු මුහුණින් යුතුව පිළිතුර බාරගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුමන්ගේ මේ ප්‍රශ්ණ විචාරාත්මක ක්‍රමයට රැස්ව සිටි බැතිමතුන් සැවොම බොහෝ සතුටින් සහභාගිවන බවයි දකින්නට ලැබුනේ.

 

ඉන්පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවා.

 

ඒ අපරාධකරුවා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා, ‛‛ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනව.’’ එතකොට උන්වහන්සේ කියනවා, ‛‛ඇත්තෙන්ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අදම පාරාදීසයේ සිටින්නෙහිය.’’ උන්වහන්සේගේ ජීවිත කාලය තුල, උන්වහන්සේ පාරාදීසයක් ගැන ඊට කලින් සඳහන් කරලා තිබුනෙ නැහැ කොහෙවත්. ඔයගොල්ලො කියවන බයිබලයේ හැටියට. කොහෙවත් සඳහන් කරලා නැහැ පාරාදීසය කියන වචනයක්. එදා තමයි උන්වහන්සේගේ කටින් එළියට ආවේ. එතකොට ඒ දකුණු පස සිටපු සොරාට උන්වහන්සේ නියම කළා, ‛‛අදම මාත් එක්ක ඔබ පාරාදීසේ ඉන්නවා.’’ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට යම්කිසි කෙනෙකුට, ස්වර්ගයේ යම් කොටසක ජීවත් වීමේ වරම ලබා දුන්නනම්, ඒ ලබා දුන්නු එකම අවස්ථාව තමයි, වරය ලබා දුන්නු එකම අවස්ථාව තමයි, උන්වහන්සේ මේ ලෝකයෙන් ඉවත්ව යන්නට ඉතාම ස්වල්ප වේලාවකට පෙර, දකුණු පස සිටපු සොරාට නැත්තම් ඒ අපරාධකරුවාට ලබා දුන්නු ඒ වරම. එතෙක් කාලයකට උන්වහන්සේ කාටවත් ස්වර්ග රාජ්‍යයේ කොතනකවත් ස්ථානයක් ලබා දුන්නෙ නැහැ.’’

 

මෙම ප්‍රකාශයෙන් පසුව, පාරාදීසය පිළිබඳව ද, ස්වර්ග රාජ්‍යය පිළිබඳව ද, නිරය පිළිබඳව ද, බොහෝ දේ තේරුම් කර දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඒවායේ කාල වේලාවන් පිළිබඳව ද පැහැදිලි කර දුන්නේ, බැතිමතුන් මෙතෙක් කාලයක් නොදැන සිටි බොහෝ දේ හෙළිකරමිනුයි.

 

මේ සියළු හෙළිදරව් කිරීම්වලට සාවධානව සවන් දෙමින්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් දෙස විමතියෙන් බලා සිටින බැතිමතුන්ට උන්වහන්සේ මෙසේ පවසනු ලැබුවා.

 

‛‛ප්‍රිය දරුවෙනි, මේ දැනීම තියෙන්නේ අපොස්තුළුවරුන්ට විතරයි. හේතුව, ක්‍රිස්තුස් වහන්සේම ජීවත් වෙලා ඉද්දි කිව්වා. ‛‛පුත්‍රයාණන් හා පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරා ගනු ලැබූ යමෙක් වේද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.’’ එතකොට මේ ස්වර්ගය ගැන, දෙවියන් වහන්සේ ගැන, දෙවියෝ ගැන, දෙවියෝ ඉන්න තැන ගැන. මේ සියල්ලක් ගැන ඔබට කියලා දෙන්න පුළුවන් වෙන්නේ, කාටද? පුත්‍රයාණන් විසින් තෝරා ගනු ලැබූ යමෙකුට පමණයි. පුත්‍රයාණන් විසින් තෝරා ගනු ලැබූ යමෙක් බර කාලයක් මේ ලෝකේ නොහිටපු නිසා මේ සියල්ලකට උත්තර දෙන්න කෙනෙක් හිටියෙ නෑ. ඒ පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙලා ඉද්දි කිව්වා. මතෙව් තුමාගේ සුවිශේෂේ දහතුන්වෙනි පරිච්ජේදයේ තියෙනවා, ‛‛ස්වර්ග රාජ්‍යය පිලිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් ඔවුන්ට එසේ නැත.’’ ඒ නිසා ස්වර්ග රාජ්‍යය ගැන, පාරාදීසය ගැන, ස්වර්ග ලෝක ගැන මේවට කොහොමද අපි ඇතුළු වෙන්නේ, මේවායේ විස්තර අපි කොහොමද දැනගන්නේ. මේ සියල්ලකට ඔයගොල්ලන්ට පිළිතුරු දෙන්ඩ හැකියාව ක්‍රිස්තුස් වහන්සේ ම දීලා තියෙන්නේ අපොස්තුළු තුමන්ලාටයි.’’

 

මෙහි ඡායාරූප මගින් ඔබට දකින්නට හැකි වන්නේ ජේසුස් ස්වාමින් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන වීමේ විජයග්‍රහණය සමරමින්, 2023 අප්‍රියල් 9 වෙනි පාස්කු ඉරුදින, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන් ය