කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ පණිවිඩ රාශියක් ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට ප්‍රකාශ කර තිබෙන්නේ ද මෙම දර්ශණ දෙව් මැදුර තුලයි.

 

මෙම දර්ශන 23 අතරින්, 1977 ජුලි මස 27 වෙනි දින සිදුවූ එතුමියගේ දස අට වැනි දර්ශනය අති සුවිශේෂි දර්ශණයක් වුණා. එය අති සුවිශේෂී දර්ශණයක් වූයේ, එදින කන්‍ය මරිය උත්තමාවිය, එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදුන්ව ද හොවා ගෙන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටීමයි. එදින සිදුවූ මේ අති සුවිශේෂී දර්ශනය සංකේතවත් කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශන දේව මන්දීරය තුල ප්‍රධාන පූජාසනයට ඉහළින්, නිර්මල කන්‍ය මරිය මාතාවන් එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදුන් වඩවා ගෙන වැඩ සිටින, අති මනස්කාන්ත ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබෙනවා. මෙම ප්‍රතිමාව දර්ශණ දේව මන්දීරයේ ප්‍රධානතම ප්‍රතිමාව වන අතර, එහි ප්‍රධාන පූජාසනයේ ඉහළින්ම මෙම ප්‍රතිමාව ස්ථාපිතව තිබෙනවා.

 

මෙම 2022 වර්ෂයේ ජූලි 27 වෙනි දිනයේ මෙම භාග්‍යවත් දර්ශණයට, හරියටම වසර 45 ක් සම්පූර්ණ වුනා.

 

මේ අතර 2022 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැහැවතුන් රොක් වී සිටියේ ආශ්චර්‍යමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සඳහායි.

 

සෑම සෙනසුරාදාවකම සවස හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සිදුකෙරෙන අතර, මෙම යාච්ඤාව මගින් සැදැහැවතුන් ලබා ඇති පිහිට ඉතාමත් පුදුමාකාර වන අතර, මෙම යාච්ඤාව ‛හාස්කම් යාච්ඤාව’ ලෙසින් ප්‍රචලිත වන්නට වූයේ ද, සැදැහැවතුන් අත්දකින පිහිට සහ සිදුවන හාස්කම් නිසාවයි.

 

2022 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස සැදැහැවතුන් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ රැස්වී හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමට සූදානම්ව සිටිය අතරේ දර්ශණ දෙව්මැදුර තුල මහා විස්මිත හාස්කමක් සිදුවෙන්නට පටන් ගත්තා. එනම් දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත ජේසු බිළිදුන් සමග වූ දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවදක් විහිදී ආ අතර, එම අසිරිමත් සුවද දර්ශණ දෙව්මැදුර පුරාවටත්, මුළු සිද්ධස්ථාන භූමිය සිසාරාත් විහිදී පැතිරෙන්නට වුනා.

 

ජේසු බිළිදුන් තුරුලේ හොවා වැඩ සිටින දෙව් මවු ප්‍රතිමාවෙන් විහිදෙන්නට වූ මිහිරි පිච්ච මල් සුවද විද ගැනීම සඳහා සියළු ම සැදැහැවතුන්ට අවස්ථාව සලසා දුන් අතර, සැදැහැවතුන්ට මේ මහා හාස්කම විද ගැනීමට ලද අවස්ථාවේ ඔවුන් සියළු දෙනා අති මහත් බැතියෙන් දෙව් මවු ප්‍රතිමාව පාමුළ දනින් වැටී යාච්ඤා කලා. ඇතැම් සැදැහැවතුන් දර්ශණ දෙව්මැදුර හරහා දණින් ඇවිද ගොස්, පිච්ච මල් සුවද පැතිරෙන දෙව් මවු ප්‍රතිමාව ස්ථාපිත මණ්ඩපයේ පොළව සිපාචාර කරමින් දෙව් මවුන්ට ගෞරවය පුද කරන අයුරු ද දකින්නට ලැබුනා.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකි වන්නේ 2022 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දිරය තුළ පිච්ච මල් සුවද විහිදී පැතිරුණ දෙව් මවු ප්‍රතිමාව සහ සැදැහැවතුන් මහත් බැතියෙන් දෙව් මවුන්ගේ ස්වර්ගීය සුවඳ විදගනිමින්, දෙව් මවුන්ට යාච්ඤා කරමින්, දෙව් මවුන්ගේ ප්‍රතිමාව වෙත දර්ශණ දෙව්මැදුර හරහා දණින් යමින්, ඔවුන්ගේ ගෞරවය ද භක්තිය ද දෙව් මවුන් වෙත පුද කරනු ලබන අන්දමයි