‛‛ප්‍රියාදර පිංවත් දරුවෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ උපත කියන්නේ ආලෝකයේ උපතයි. ඒ ආලෝකය විදුලි බල්බයන් සිය දහස් ගණනක් දල්වා සමරණ ආලෝකයක් නොවෙයි. එය ධර්මයේ ආලෝකයයි. ලොව පුරා ක්‍රිස්තියාණීන්, තම ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරණවා කියන්නේ, නත්තල සමරනවා කියන්නෙ, ධර්මයේ ආලෝකය ලොවට පැමිණීම සිහිපත් කර, මේ ලොව උපත ලැබූ දෙව් කුමරා දෙසූ ධර්මය බුද්ධිමත්ව සොයා බැලීමට ආරම්භ කිරීමයි, ධර්මය ගැන කල්පනා කිරීමයි. ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය ‛ආගමක්’ බවට පත්කර ගත් උදවිය තමයි කියන්නේ, සල්ලි තියනවානම්, සෑමදාම නත්තල් කියලා. සැබෑම නත්තල සඳහා අවශ්‍ය වන්නේ සල්ලි නොවෙයි, ධර්මය සෙවීමට කැමැත්තයි. ධර්මය සමුවූදාක ඔබට සැබෑම නිදහස සමුවෙනවා. ධර්මය දෙමාපිය උරුමයෙන් ලැබෙනදෙයක් නොවෙයි. ධර්මය සොයා යායුතුයි. ධර්මය සොයා යා යුත්තේ, පාසැලටවත්, පල්ලියටවත් නොවෙයි, තමා තුලටයි. තමාගේ සිත තුලටයි.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොන්සු අපොස්තුළුතුමා ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ, 2021 වසරේ නත්තල් උදාවත් සමගයි. දෙසැම්බර් 24 වෙනි සිකුරාදා මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාව උන්වහන්සේ පවත්වනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය තුලයි.

 

නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය ආරම්භ කරමින් උන්වහන්සේ පවසනු ලැබුවේ ඉතාමත් කදිම ප්‍රකාශයක්. එය මෙසේයි.

 

‛‛ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ තවත් වසරක්. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ තවත් දිනයක්. ඒ නිසා මේ නත්තලක්. මගේ මේ ජීවිත කාලයේ මම සමරණ 65 වන නත්තලයි මේ. ඒ වගේම අපොස්තුළුතුමෙක් හැටියට 47 වෙනි නත්තල. මේ ලෝකයේ මම ගත කරපු ජීවිත කාලයන් අතරින්, මට බොහෝම සරුසාර නත්තල් තිබුනේ, ක්‍රිස්තු වර්ෂ 858 උදාවූ නත්තලේ සිට 866 වෙනි නත්තල දක්වා තමයි. ඒ සෑම නත්තලක් ම, ජනතාවට බොහෝ අර්ථවත් නත්තලක් කරන්නට මට අවස්ථාව ලැබුන කාලයක්. එම කාල සීමාවේ මම ජීවත් වුනේ අවුරුදු 47 යි. ඒ කාලයේ මාත් සමග නත්තල ගත කල කීප දෙනෙක් ම අද මා සමග මෙහි සිටීම ගැන බොහෝම සතුටුයි. එදා මා නත්තල ගැන, ජේසුස් ස්වාමින් වහන්සේගේ උපත ගැන මා පැවසූ දෙයට වඩා බොහෝ දේ, නිසි බලයකින් යුක්තව අද මට පවසන්නට පුළුවන්. බලය ලබා ගත යුතු තැනැන් වහන්සේගෙන් ම බලය ලබාගෙන, ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන ඔබට අළුතින් සිතන්නට යමක් පෙන්වා දීමට මේ කාලයේ මට අවස්ථාව ලැබී තිබෙනවා.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ මේ ප්‍රකාශය ඇසූ සැදැහැවතුන් පුදුමයට පත් වූයේ නැත. මන්දයත්, මේ ප්‍රකාශයේ පසුබිම බොහෝ සැදැහැවතුන් දැන සිටි අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, අප ජීවත්වන ජීවිතයට පෙර ගතකල ජීවිතය පිළිබඳව තොරතුරු පැවසීමේ ඥාණයකින් යුතු උත්තමයකු බව හොඳින් ම දන්නා සැදැවතුන් හමුවේ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ‛‛පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති’’ (මතෙව් 11/27) යි වදාළ ක්‍රිස්තුස් වහන්සේ ම මාව තොරාගත් නිසා ස්වර්ග රාජ්‍යය පිළිබඳව, බොහෝ දේ පවසන්නට මේ ජීවිත කාල සීමාවේ දී මට අවස්ථාව ලැබී තිබෙනවා’’ යනුවෙනි.

 

දිනපතා ලොව වටා මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද කොවිඩ් රෝගීන් මෙන්ම කොවිඩ් වසංගතය නිසා සිදුවන මරණයන් ද වාර්තාවන කාලක උදා වූ 2021 වසරේ නත්තල් උදාව, ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාණන් සමගින් ගත කිරීමට සැදැහැවතුන් විවිධ පලාත්වලින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන වෙත පැමිණ සිටියහ. බිළිඳු අත දරුවන් මෙන්ම වයෝවෘධ අයවළුන් ද දර්ශණ දේව මන්දීරය තුලත්, සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටියහ.

 

සැදැහැවතුන් මෙන්ම පූජා සහයකවරුන් ද මුඛ ආවරණ පැළඳ සිටියත්, 65 හැවිරිදි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කිසිදු මුඛ ආවරණයක් පැළඳ සිටියේ නැත.

 

නත්තල් මංගල දිව්‍ය පූජාවේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබූ සේක.

 

‛‛ඔබ ජීවත් වන ජීවිතය ගැන, ජීවිතයෙන් පසු ජීවිතය ගැන ඔයගොල්ලන්ට යම් විශ්වාසයක් ඇති. ඒ ඔබේ දෙමාපියන්ගේ ද විශ්වාසය එය වූ නිසා නේද? ඔබ මේ ජීවිතය ගතකරන්නට පෙර, එම විශ්වාසය දරණ යුවලක් බලා සොයා ගෙන තෝරා ගත්තාද, ඔබේ දෙමාපියන් වන්නට? ඒ නිසා ඔබ දරණ විශ්වාසයන්ට වඩා වෙනස්ම විශ්වාසයක් දරණ ඔබේ මිතුරා ගැන උරණ නොවී, ඔහු දරණ විශ්වාසය ගැනත් කරුණු කාරනා විමසා ඔබත් කල්පනා කරන්න. බාගදා ඔබ වැරදි වී, ඔහු නිවැරදි විය හැකියි. දෙදෙනාම දරන්නේ විශ්වාසයන් බව අමතක කරන්න එපා.’’

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැක ගත හැක්කේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී, ‛‛බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන්’’ සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබූ අයුරු සහ ඉන්පසුව ජේසු බිළිඳු ප්‍රතිමාව දර්ශණ දේව මන්දීරය තුල විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලැබූ අවස්ථාවයි