මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ.
‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක. ඔවුන්ට ‛අපොස්තුළුවරු’ යයි නම් තැබූ සේක’’ (මාක් 3/13-14) ‛‛ශ්රාවකයන් දොළොස් දෙනාගේ නම් මෙසේය. පළමුව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය. සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජුවාම් ය. පිලිප් සහ බර්තොලමේව් ය. තෝමස් සහ අයකැමියා වන මතෙව් ය. අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය. අන්ත ජාතිවාදී සීමොන් සහ උන්වහන්සේ පාවා දුන් ජුදස් ඉස්කාරියොත් යන මොව්හු ය.’’ (මතෙව් 10/2-4)
ජේසුස් ක්රිස්තුස් වහන්සේ තොරාගනු ලැබූ මෙම අපොස්තුළුවරුන් දොළොස් දෙනාගේ නම් අතර ඔබගේ කටින් පිටවෙන තවත් අපොස්තුළුතුමෙකුගේ නමක් ඉහත සඳහන් අපොස්තුළුවරුන්ගේ නාම ලේඛණයේ සඳහන් ව නැති බව මේ වන විට ඔබට පෙනීගොස් තිබෙන්නට හැකිය. ඒ ‛පාවුළු අපොස්තුළුතුමා’ වේ.
ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාගේ නම, ඉහත සඳහන් අපොස්තුළුතුමන්ලාගේ නාම ලේඛණයේ සඳහන් නොවන්නේ ඇයි? හේතුව මෙයයි. ඉහත සඳහන් වන්නේ, ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ මහ පොළව මත ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුවරු දොළොස් දෙනාගේ නාම ලේඛණයයි.
එසේනම් පාවුළුතුමා අපොස්තුළුතුමෙක් වුනේ කෙලෙසින්ද? පාවුළුතුමා අපොස්තුළුතුමෙක් බවට පත් කරනු ලැබුවේ ද ජේසුස් ක්රිස්තුස්වහන්සේ විසින්ම තමයි. එය සිදුවුනේ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ මරණය සිදුවී, ඉන් දින තුනකින් උත්ථානයද සිදුවී, ඊටත් දින හතළිහකට පසුව ස්වර්ගාරෝහණය ද සිදුවීමෙන් පසුවයි.
ස්වර්ගයට නැගී ගිය ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ මහ පොළවේ ජීවත් වෙමින් සිටි ‛පාවුළු’ ව අපොස්තුළුතුමෙක් කලේ කෙලෙසින් ද? ඇත්තෙන්ම එය ඉතාමත්ම දුර්ලභ සිදුවීමකි. ජේසුස් ක්රිස්තුස් වහන්සේ සිරියාවේ දමස්කස් නගරයේ දී දර්ශණය වී අපොස්තුළුවරයට තෝරා ගනු ලැබූ ‛ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා’, ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ ලෝකයට දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වේ.
ඉතිහාසයේ මුල් වරට සිදුවූ ඒ දුර්ලභ සිදුවීම නැවත දෙවන වරට ද සිදු වූයේ ක්රි.ව. 1975 පෙබ්රවාරි 7 වෙනි දින, ශ්රී ලංකාවේ, කටුනායක නගරයේ දී ය. ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව, අපොස්තුළුවරයට තෝරා ගැනීමෙනි.
එදා ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ ලෝකයට දර්ශණය වී ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ව අපොස්තුළුවරයට තෝරාගනු ලබත් දී, මේ ලෝකය තුල තවත් අපොස්තුළුවරු එකළොස් දෙනෙකු ජීවත් වෙමින් සිටියහ. ජේසුස් ක්රිස්තුස් වහන්සේ මෙලොව ජීවතුන් අතර සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුවරු දොළොස් දෙනා අතරින් ජුදාස් ඉස්කාරියොත් සිය පණ නසා ගෙන සිටි නිසා, ඉතිරිව සිටි අපොස්තුළුවරු එකළොස් දෙනෙකු මේ මහ පොළව මත ජීවත්ව සිටිය දී, ජේසුස් ක්රිස්තුස් වහන්සේ ‛ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා’ව දර්ශණය වී තෝරා ගැනීම විශේෂත්වයකි.
1975 පෙබ්රවාරි 7 වෙනි දින වන විට මේ මහ පොළව මත ඉතිරිව තිබුනේ මෙම අපොස්තුළුතුමන්ලාගේ ප්රතිමා, පින්තූර සහ මිහිදන් කල ස්ථානවල තැනූ දැවැන්ත දෙව්මැඳුරු පමණකි. අපොස්තුළුතුමෙකුගේ නොදිරූ සිරුරක්වත් මේ මහ පොළව මත නොවීය. මේ නිසාම අපොස්තුළුතුමන්ලා යනු අතීතයට සීමාවූ පිරිසක් ලෙස මිනිස් මනස තුල සටහන් වී තිබුනි.
එවැනි මිනිස් මනසවල් අන්ද මන්ද කරමින් ජේසුස් ක්රිස්තුස් වහන්සේ නැවත මේ ලෝකයට දර්ශණය වී තෝරා ගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තවමත්, අදටත් ශ්රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වෙති. සමහරු තවමත් මේ පුදුම සිදුවීම දෙස උතුර දකුණ මාරු කරගෙන, තොල කට වේලාගෙන බලා සිටිති. මේ අතර තවත් පිරිස මේ ලෝකයේ ජීවත්වන එකම අපොස්තුළුතුමාගේ ආශිර්වාදය ලබා ගනිති.
ශ්රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල දී ජේසුස් ක්රිස්තුස් වහන්සේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිට, 1975 පෙබ්රවාරි 7 වෙනි සිකුරාදා දින සවස 6.30 ට පමණ අපොස්තුළුවරයට පත්කරනු ලැබූ ස්ථානයයි මේ ඡායාරූප මගින් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ